වෙසක් පුන් පොහෝදිනයේදී 84,000ක රුක් රෝපණ වැඩසටහනක්

රී-ෆොරෙස්ට් ශ්‍රී ලංකා සංවිධානය මඟින් එළඹෙන වෙසක් පුන් පොහෝදිනයේදී “පැළ 84,000 රුක් රෝපණ වැඩසටහනක්” පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. සමස්ථ ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සහ අන්‍යාගමිකයන්ගේත් ගෞරවයට බඳුන්වූ වෙසක් පොහොය දවසේ මෙම මහාර්ග කටයුත්ත සිදු කිරීමට විශේෂිත හේතූන් කීපයක් ඇත.

සිද්ධාර්ථ කුමාරයා ස්වකීය උපත සිදුකරන ලද්දේ සල් ගසක් පාමුල දීය. සිද්ධාර්ථ තාපසයාණෝ බුද්ධත්වය අවබෝධකරගත්තේ ඇසතු බෝ රුක මුළදීය. බුදුන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව සිදුකරන ලද්දේ ඉසිපතනයේ “මිගදාය” නම් වූ අභය භූමියකදීය. එමෙන්ම උන්වහන්සේ පිරිනිවන්පාන ලද්දේද සල්ගසක් පාමුලදීමය. මේ අනුව ගත් කළ බුදුන්වහන්සේගේ ජීවිතයේ සිදුවූ සියළු ආකාර සිදුවීම් සිදු කරන ලද්දේ ස්වභාවික පරිසරය හා බද්ධව මහා රුක් සෙවණහිදීය.

බුදුන් වහන්සේ යනු සොබාදහමට නිරන්තරයෙන් ගරු කළ, සොබාදහම, ගස් වැල්, තුරු ලතාවන් ආරක්ෂාකිරීමට තම ශ්‍රාවකයන්ට ඉගැන්වීම සිදු කළ ශාස්තෲන්වහන්සේ වරයෙකි. සසර දුකින් එතෙරවීමට බවුන් වැඩ නිර්වාණාවබෝධය ලබා ගැනීම සඳහා උන්වහන්සේ විසින් අනුදැන වදාළේ වෘක්ෂමූලිකව බවුන් වැඩීම සිදුකරනා ලෙසටය. උන්වහන්සේ විසින් එය හුදෙක් අවවාදයෙන් පමණක් නොනැවතී ආදර්ශයෙන්ද ක්‍රියාකොට පෙන්වන ලද අවස්ථාවන් බුද්ධ චරිතයේදී බොහෝ විට දක්නට ලැබෙන්නේය.

එළඹෙන වෙසක් දිනයේදී, සම්බුද්ධ තෙමඟුල සමරා, 84,000ක රුක් රෝපණ වැඩසටහනක් අප විසින් සංවිධානය කරන්නේද, පරිසරය සමඟ නිරන්තරයෙන් කටයුතු කළ, පරිසරයට ආදරය කළ, ඒ මහා පරිසරවේදී ආධ්‍යාත්මික නායකයාණන්ට සිදුකරනා උපහාරයක් ලෙසමය.

අනාගත ලෝකයේ අභිවෘද්ධිය තකා ගසක් පැළ කිරීම මහාර්ඝ පුණ්‍යකර්මයක් බව බුදුන් වහන්සේ වදාළ සේක. බුදුන්වහන්සේ වදාළ 84,000ක්වූ මහා ධර්මස්කන්ධය සිහිකරමින්, අප රටේ පරිසරය සුරැකීම සඳහාත්, වනාන්තර ආරක්ෂා කරගැනීම සඳහාත්, මේ පොළොවේ මතු උපදින දරුවන්ගේ ප්‍රයෝජනය සඳහාත්, පැළ 84,000ක් රෝපණය කරනා මේ මාහැඟි පුණ්‍ය කර්මය සමඟ එක්වන ලෙස දිවයින පුරා පිහිටා ඇති විහාරස්ථාන, පාසැල් සහ පරිසර සංගම් සහ පරිසර වේදීන්ගෙන් අප ඉමහත් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටින්නෙමු.

2 thoughts on “වෙසක් පුන් පොහෝදිනයේදී 84,000ක රුක් රෝපණ වැඩසටහනක්”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>